දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ (SAFF) මූලික වටයේ තීරණාත්මක තරගයක් ලෙස ශ්‍රී ලංකා සහ භූතාන කණ්ඩායම් අතර තරගය අද (8) බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්ධු ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට මෙම තරගය ආරම්භ වීමට නියමිතය.

මෙවර තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, භූතානය සහ සත්කාරක බංග්ලාදේශය තරග වදී. ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී ජාත්‍යන්තර තරග කිහිපයකදීම ලබාගත් ජයග්‍රහණ හේතුවෙන් ඉතා ඉහළ මානසික මට්ටමකින් මෙම තරගාවලියට අවතීර්ණ වී සිටී.

FIFA ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 184 වැනි ස්ථානයේත්, භූතානය 187 වැනි ස්ථානයේත් පසුවෙයි. මීට පෙර පැවැති සුහද තරගයකදී භූතානය ගෝල 4-1ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එම ජයග්‍රාහී අත්දැකීම අද තරගයට විශාල ශක්තියක් වනු ඇත.

කණ්ඩායමේ නායක සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් සහ ජස්වර් උමර් මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර කුසලානය දිනා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසුවෙයි. ඩිලන්ද සිල්වා, රාහුල් සුරේෂ් සහ සාමුවෙල් ඩ්‍රරන්ට් වැනි ක්‍රීඩකයන්ගේ දායකත්වය ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක වනු ඇත.

භූතාන කණ්ඩායමේ නායක චෙන්චෝ නෙල්ට්ෂෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක වළල්ලට අභියෝගයක් විය හැකි බැවින්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. 1995 වසරෙන් පසු ශ්‍රී ලංකාවට අහිමි වූ සාෆ් පාපන්දු කිරුළ නැවත මෙරටට රැගෙන ඒම මෙම කණ්ඩායමේ එකම බලාපොරොත්තුවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version