ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් ජපාන රජය විසින් යෙන් බිලියනයක ආධාර මුදලක් ප්‍රදානය කර ඇත. මේ සඳහා අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීම කොළඹ පිහිටි මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

මෙම ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ‘රිජිඩ් හල් ඉන්ෆ්ලටබල් බෝට්ස්’ (RHIBs) හෙවත් වේග ප්‍රහාරක බෝට්ටු ලබා දීමට නියමිතය. මෙමගින් නාවික හමුදාවේ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු, නීතිය ක්‍රියාත්මක කිරීම, සෙවීම් සහ මුදවා ගැනීමේ මෙහෙයුම් මෙන්ම ආපදා කළමනාකරණ හැකියාවන් ඉහළ නැංවෙනු ඇත.

ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකිඕ මහතා සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා ද එක්ව සිටියේය.

මෙම ආධාරය මගින් ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට විශාල පිටුවහලක් ලැබෙන බව දෙපාර්ශවයම අවධාරණය කළහ. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා මෙමගින් තවදුරටත් තහවුරු වන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

මෙම අවස්ථාවට නාවික හමුදාපතිවරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජපාන තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version