වසර තුනහමාරක කාලයක් පුරා රටවල් 150ක් ආවරණය කරමින් ලෝක සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබූ ‘ද ඔඩිසි’ (The Odyssey) නම් සුඛෝපභෝගී මගී නෞකාව සිංගප්පූරු වරායේදී අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවරින් සිය ගමන ආරම්භ කළ මෙම නෞකාව, ඇමරිකානු සමාගමක් වන ‘විලා වී රෙසිඩන්සීස්’ (Villa Vie Residences) මගින් මෙහෙයවනු ලැබීය. කෙසේ වෙතත්, ඉන්ධන පිරිවැය අසාමාන්‍ය ලෙස ඉහළ යාම සහ සමාගම මුහුණ දී ඇති මූල්‍ය අර්බුද හේතුවෙන් නෞකාවේ මෙහෙයුම් හදිසියේ අත්හිටුවීමට සිදුවිය.

මෙම තත්ත්වය මත පසුගිය මාසයේදී කාම්බෝජයේදී මගීන් 200කට ආසන්න පිරිසකට නෞකාවෙන් බැස යාමට සිදුවූ අතර, ඔවුන් වෙනුවෙන් තාවකාලික නවාතැන් පහසුකම් සැපයීමට සමාගම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සිංගප්පූරු වරාය බලධාරීන් පවසන්නේ නෞකාව මේ වන විට ඔවුන්ගේ භාරයේ පවතින බවත්, එහි සිටින කාර්ය මණ්ඩලයේ සුබසාධන කටයුතු නෞකාවේ ණය හිමියන් විසින් කළමනාකරණය කරනු ලබන බවත්ය. කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවද බලධාරීන් තහවුරු කර තිබේ.

මෙම නෞකාවේ සංචාරය සඳහා මගීන් විශාල මුදලක් වැය කර තිබූ අතර, ඇතැම් මගීන් සිය කාමර සඳහා ස්ථිර පදිංචි අයිතිය ලබා ගැනීමට ඇමරිකානු ඩොලර් 120,000 සිට 440,000 දක්වා මුදලක් ගෙවා තිබුණි. සංචාරය ආරම්භයේ සිටම විවිධ තාක්ෂණික සහ මූල්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුවීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version