ප්‍රාදේශීය මට්ටමින් සමාජීය සහ ආර්ථික දියුණුවක් අත්කර ගැනීමේ අරමුණින්, දැනට පවතින ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක ලෙස පරිවර්තනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති කාර්යාලයේ පැවති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ පරිපාලන ක්‍රමය තුළ ජනතාවගේ ගැටලු සඳහා නිසි විසඳුම් නොලැබුණු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පවතින ක්රමයේ සුළු සංශෝධනවලට වඩා සමස්ත පරිවර්තනයක් රටේ ජනතාව අපේක්ෂා කරන බව සඳහන් කළේය. මෙම ක්‍රියාවලිය එකවර සිදු කළ නොහැකි වුවද, ඒ පිළිබඳ සංවාදයක් ඇති කරමින් මූලික පියවර තැබීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ජනතාවට සපයන සේවාවන් අතරින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලබා දිය හැකි සේවාවන් හඳුනාගෙන වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම, රට පුරා පවතින ඌන උපයෝජිත ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. දැනට ක්‍රියාත්මක ඉදිකිරීම්වල අවශ්‍යතාව නිසි ලෙස අධ්‍යයනය කර, අත්‍යාවශ්‍ය ව්‍යාපෘති සඳහා පමණක් ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
මීට අමතරව, අමාත්‍යවරුන් විසින් නිල නිවාස ලෙස භාවිතා කළ බංගලා ආර්ථිකමය වශයෙන් ඵලදායී කාර්යයන් සඳහා යෙදවීමේ වැඩසටහන කඩිනම් කරන ලෙසත්, ග්‍රාමීය පාලම් ඉදිකිරීම් වැනි ව්‍යාපෘති වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.
