ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) 45 වන උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව සඳහන් කළාය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.

රජයේ ජාතික සංචාරක දැක්ම 2030 යටතේ සංචාරක ක්ෂේත්‍රයේ සේවක පිරිස 800,000ක් දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. පසුගිය කාලසීමාව තුළ විවිධ අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය යළි හිස එසවීමට සමත්වීම ප්‍රශංසනීය බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

පසුගිය වසරේදී පමණක් සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එමෙන්ම, මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.3 ඉක්මවා ගොස් තිබීම ක්ෂේත්‍රයේ ප්‍රගතිය මනාව කියාපාන සාධකයක් බව ද අගමැතිනිය අවධාරණය කළාය.

සංචාරක ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීමේදී තාක්ෂණික දැනුමට පමණක් නොව, සදාචාරාත්මක සහ පරිසර හිතකාමී වෘත්තිකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. විශේෂයෙන්ම කාන්තාවන් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා මෙම ක්ෂේත්‍රයේ වැඩි අවස්ථා උදාකර දීමේ වැදගත්කම ඇය මෙහිදී සිහිපත් කළාය.

මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන් සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version