ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ ශතසංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළාය. කොළඹදී පැවති මෙම උත්සවයේදී මිනින්දෝරු වෘත්තියේ වැදගත්කම සහ රටේ සංවර්ධන ක්‍රියාවලියට ඔවුන් ලබාදෙන දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළාය.
මිනින්දෝරු වෘත්තිය යනු හුදෙක් ඉඩම් මැනීමකට පමණක් සීමා නොවූ, රටක තිරසාර සංවර්ධනය, යටිතල පහසුකම් සහ ඉඩම් කළමනාකරණය සඳහා පදනම සපයන ප්‍රධාන ක්ෂේත්‍රයක් බව ඇය අවධාරණය කළාය. විශේෂයෙන්ම රජරට ඇළ ව්‍යාපෘතිය සහ අධිවේගී මාර්ග වැනි දැවැන්ත ජාතික ව්‍යාපෘති සාර්ථක කරගැනීම සඳහා මිනින්දෝරුවන්ගේ තාක්ෂණික නිපුණතාව අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
වර්තමාන ලෝකයේ දියුණු තාක්ෂණයන් වන කෘතිම බුද්ධිය, ඩ්‍රෝන තාක්ෂණය සහ භූගෝලීය තොරතුරු පද්ධති (GIS) මගින් රාජ්‍ය සේවා සැපයීමේ ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවද ඇය සඳහන් කළාය. මෙම වෙනස්කම්වලට අනුගත වෙමින්, පාරදෘශ්‍ය සහ ඩිජිටල්කරණය වූ ආයතන පද්ධතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
එමෙන්ම, දේශගුණික විපර්යාස හමුවේ සිදුවන ආපදා අවම කරගැනීම සඳහා සාක්ෂි මත පදනම් වූ සැලසුම්කරණය සහ නිවැරදි සිතියම්ගත කිරීමේ වැදගත්කම ඇය අවධාරණය කළාය. අනාගත පරපුර වෙනුවෙන් ඔරොත්තු දෙන යටිතල පහසුකම් ගොඩනැගීමට නම්, තාක්ෂණික දැනුම සමඟ අවංකභාවය සහ රාජ්‍ය සේවය කෙරෙහි දැඩි කැපවීමක් සහිත වෘත්තිකයන් බිහිවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.
