මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් සේවාවක් ලබාදීමේ අරමුණින්, නවීන තාක්ෂණයෙන් සමන්විත කම්කරු අමාත්‍යාංශයේ නව නිල වෙබ් අඩවිය පසුගියදා එළිදැක්විණි. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේදී මෙම උත්සවය පැවැත්විණි.

මෙම නව වෙබ් අඩවිය හරහා සංශෝධිත කම්කරු නීතිරීති, අමාත්‍යාංශයේ ව්‍යාපෘති තොරතුරු මෙන්ම සේවක අර්ථසාධක අරමුදලට අදාළ අයදුම්පත්, පඩිපාලක සභා තීරණ සහ ගැසට් නිවේදන පහසුවෙන් බාගත කර ගැනීමේ අවස්ථාව උදාවී ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙය භාවිතා කළ හැකි අතර, ජංගම දුරකථන හෝ පරිගණක ඔස්සේ ඕනෑම අයෙකුට අමාත්‍යාංශයේ සේවාවන් වෙත පිවිසිය හැකිය.

රැකියා ස්ථානවල ගැටලු සහ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමටත්, කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු අනුබද්ධ ආයතනවල වෙබ් අඩවි වෙත පිවිසීමටත් මෙහි පහසුකම් සලසා ඇත. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

එමෙන්ම, සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ අයදුම්පත්වල ප්‍රගතිය මාර්ගගතව පරීක්ෂා කිරීමේ ‘Digital EPF’ සේවාව ද මෙම අවස්ථාවට සමගාමීව ආරම්භ කෙරිණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version