කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමේ වැඩසටහන සහ විධායක නිලධාරීන්ගේ වාර්ෂික සමුළුව පසුගියදා නාරාහේන්පිට මෙහෙවර පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩසටහන කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එයට නිලධාරීන් 200ක් පමණ සහභාගී වූහ.

“එක්ව විශිෂ්ටත්වය කරා” යන තේමාව යටතේ පැවැති මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ දෙපාර්තමේන්තු නිලධාරීන් තුළ වෘත්තීය අභිප්‍රේරණයක් ඇති කිරීම සහ සේවාවන්හි ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි. 2025 වසරේ කාර්ය සාධනය පදනම් කර ගනිමින් මෙම ඇගයීම් සිදු කෙරිණි.

දෙපාර්තමේන්තුවේ අංශ, කලාප සහ දිස්ත්‍රික් කාර්යාල මෙන්ම ඉංජිනේරු කාර්යාලවල කාර්යභාරය පදනම් කරගෙන සකස් කළ නිර්ණායක අනුව මෙම ඇගයීම් සිදු කෙරිණි. ප්‍රධාන කමිටුව සහ අනුකමිටු 10ක් මගින් තෝරාගත් කාර්යාල සඳහා මෙහිදී සහතික පත් 85ක් ප්‍රදානය කරන ලදී.

මෙම වැඩසටහන වාර්ෂිකව අඛණ්ඩව පවත්වාගෙන යාමට කම්කරු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. අවස්ථාව සඳහා කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version