කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් ලක්ෂ පහකට පමණ පානීය ජල පහසුකම් ලබාදීම අරමුණු කරගත් කළුගඟ ජල ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට රජය තීරණය කර ඇත. අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.

ජයිකා (JICA) ණය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 73ක මුදලක් වැය කිරීමට ඇස්තමේන්තු කර ඇත. ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් ලෙස දිනකට ඝන මීටර් එක්ලක්ෂ හතළිස්දහසක ධාරිතාවකින් යුත් නවීන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතය.

පිරිපහදු මධ්‍යස්ථානයට අමතරව, ජල ගබඩා කුලුනු සහ අවශ්‍ය නළ පද්ධති ඇතුළු යටිතල පහසුකම් රැසක් මෙම ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි ප්‍රමාදයන් අවම කරගනිමින්, සියලු පාර්ශ්වයන් අතර සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා ජයිකා ආයතනයේ ප්‍රධාන සම්බන්ධීකාරක හොන්සු ෂිගේඔ මහතා ඇතුළු නියෝජිත පිරිසක්, අමාත්‍යාංශ ලේකම්වරයා, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් එක්ව සිටියහ. නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘතිය අවසන් කර ජනතාවට කඩිනමින් ප්‍රතිලාභ ලබාදීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version