විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින උග්‍ර ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ පැවැති සාකච්ඡාව ද කිසිදු විසඳුමකින් තොරව අවසන් වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) පවසයි.
බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, එහිදී විශ්වවිද්‍යාලවලට නව සිසුන් බඳවා ගැනීම තවදුරටත් දීර්ඝ කාලයකට කල් දැමීමට සිදුවනු ඇති බවට සංගමය අනතුරු අඟවයි.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සිසුන් බඳවා ගැනීම වේගවත් කිරීම සඳහා මීට පෙර එකඟතාව පළවූ යෝජනාවලිය පවා මේ වන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී නොමැති බවයි. වසරක පමණ කාලයක් තිස්සේ මෙම යෝජනා ක්‍රියාත්මක නොවී පැවතීම පිළිබඳව තමන් දැඩි විමතියට පත්වන බව ද ඔහු පැවසීය.
විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය, සිසුන් අධ්‍යාපනය සඳහා ගත කරන කාලය දීර්ඝ වීම සහ නව සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රමාදය ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණි. කෙසේ වෙතත්, රජය පාර්ශ්වයෙන් මෙම ගැටලු විසඳීම සඳහා ප්‍රමාණවත් උනන්දුවක් නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා චෝදනා කරයි.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බව ද වෘත්තීය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කළහ.
