ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණාධාර ලබා දීමේ වැඩසටහනක් පසුගියදා රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී. පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ සිසුන් සඳහා නොමිලේ ඇස් පරීක්ෂා කිරීම් සිදු කර අවශ්‍ය කණ්ණාඩි ලබා දීම සිදු කෙරිණි.

ජනාධිපති අරමුදල වෙත ලැබී ඇති පරිත්‍යාගශීලී වීදුරු රාමු (Frames) ඉදිරියේදී පාසල් සිසුන්, තාක්ෂණික විද්‍යාල සිසුන් සහ අඩු ආදායම්ලාභී ජනතාව වෙත බෙදා දීමට නියමිතය. අධ්‍යාපනය ලබන දරුවන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපති අරමුදලේ ලේකම් රොෂාන් ගමගේ මහතා මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව, මෙම වැඩසටහන අනාගතයේදී දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. පසුගිය වසර දෙකක කාලය තුළ නිසි කළමනාකරණය හේතුවෙන් ජනාධිපති අරමුදල 50% කින් ශක්තිමත් වී ඇති බවත්, එම ප්‍රතිලාභ නිසි ලෙස ජනතාව වෙත ළඟා වන බවත් ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සේවා ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී ටී.එම්. ජයකොඩි මහතා ඇතුළු පිරිසක් සහ අනුග්‍රාහක ආයතනවල නියෝජිතයින් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version