උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ, චාවකච්චේරිය මූලික රෝහලේ නව ඖෂධ ගබඩාවක් සහ කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මුල්ගල් තබන ලදී.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 282.52ක මුදලක් පළාත් සභා අරමුදල් මගින් වෙන් කර ඇති අතර, එහි ඉදිකිරීම් 2027 අගෝස්තු මස වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව, රෝහලේ සෝපාන පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා තවත් රුපියල් මිලියන 53ක් වැය කිරීමට නියමිතය.
රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා, කාර්ය මණ්ඩලයේ ගැටළු සහ සම්පත් අවශ්‍යතා පිළිබඳව ද සාකච්ඡා කළේය. 2017 වසරින් පසු සිදු නොවූ කාර්ය මණ්ඩල අනුමත කිරීම් (Cadre Revision) මෙම වසර තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවත්, අලුතින් බඳවාගත් සෞඛ්‍ය කාර්ය සහායකයින් 10 දෙනෙකු චාවකච්චේරිය රෝහලට අනුයුක්ත කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
යාපනය ශික්ෂණ රෝහලේ පවතින රෝගී තදබදය අවම කිරීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙස, මාතෘ වාට්ටු සේවාවන් කිලිනොච්චිය සහ චාවකච්චේරිය රෝහල් වෙත තාවකාලිකව යොමු කිරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
