දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස සේවය කළ 38 හැවිරිදි ජානක විජේසිංහ මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වන මනෝජා නීලමණී විජේසූරිය මහත්මිය මාධ්‍ය වෙත සංවේදී අදහස් පළ කර තිබේ. ඇය සඳහන් කරන්නේ සිය ස්වාමිපුරුෂයාගේ එකම අපේක්ෂාව වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් නේවාසිකාගාරයක් ඉදි කර වස් පින්කමක් සිදු කිරීමේ උතුම් බලාපොරොත්තුව ඉටු කිරීමට අදාළ කුරිරු රියදුරා ඉඩ ලබා නොදුන් බවයි.
ඉකුත් 18 වැනිදා අලුයම දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී මෙම ඛේදනීය අනතුර සිදු විය. ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක වේගය පාලනය කරගත නොහැකි වීමෙන්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි විදුහල්පතිවරයාගේ මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පසු බස් රථය තවත් මෝටර් රථයක ගැටී අවන්හලකටද කඩා වැදී තිබේ.
මෝටර් රථයේ සිරවී සිටි විදුහල්පතිවරයා ප්‍රදේශවාසීන් විසින් රෝහලට ඇතුළත් කළද, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියේය. අද (20) උදෑසන ඉනාමලුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව, විශේෂ රථ පෙරහැරකින් දේහය ඔහු සේවය කළ දඹුල්ල ජාතික පාසල වෙත රැගෙන ගොස් එහිදී අවසන් ගෞරවය දැක්වීමට කටයුතු යොදා ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුහල්පතිවරයාගේ බිරිඳ සමාජයෙන් ඉල්ලා සිටින්නේ නොහික්මුණු රියදුරන් සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරන ලෙසයි. නිරපරාදේ මෙලෙස මිනිස් ජීවිත මහපාරේ අහිමීයාමට ඉඩ නොදෙන ලෙසත්, අනතුරින් විකෘති වූ මියගිය අයගේ ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය නොකරන ලෙසත් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටී.
