හිටපු අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්රයා වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් හතරක් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටුවා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ ඊයේ (30) ප්රකාශ කළේය.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ප්රකාරව මෙම දේපළ අත්හිටුවීමේ පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට දන්වා සිටියහ. මෙම නඩුවේ පළමු සැකකරු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට ද ඉදිරි දිනවලදී කටයුතු කරන බව කොමිසම සඳහන් කළේය.
මීට අමතරව, තෙවැනි සැකකරු වන අරුණ චතුරංග වරුෂාහැන්නදිගේ බිරිඳට සහ පියාට හිමි වාහන දෙකක් ද තහනම් කර ඇති බව විමර්ශන අංශ අධිකරණයට දැනුම් දුන්නේය. අදාළ ප්රගතිය ඉදිරි දිනකදී අධිකරණයට වාර්තා කිරීමට නියමිතය.
සංවිධානාත්මක අපරාධකරුවකු යැයි කියන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටාගේ බිරිඳගෙන් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබිණි. මේ අතර, ඔවුන්ට ලබාදුන් ඇප නියෝගය ප්රතිශෝධනය කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති ප්රතිශෝධන අයැදුම්පත ලබන පෙබරවාරි 9 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්රධාන මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා නියෝග කළේය.
මෙම නඩුවට අදාළ ඉදිරි කටයුතු දෙසැම්බර් 8 වැනි දින යළි කැඳවීමට ප්රධාන මහෙස්ත්රාත්වරයා නියෝග කර ඇති අතර, විමර්ශන කටයුතු අඛණ්ඩව ක්රියාත්මක වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර