ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරට අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා තුර්කියේ ඉස්තාන්බුල් නුවර ශ්‍රී ලංකාවේ ගෞරවනීය කොන්සල් Aydin Ozu මහතා, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය යූ.ඩී. නිශාන්ත ජයවීර සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන් එක්ව සිටියහ.

සෞඛ්‍ය, කර්මාන්ත, ඛනිජ සම්පත් සහ ඛනිජ තෙල් යන ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කෙරිණි. ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළ කෙරෙහි විශ්වාසය පළ කළ තුර්කි කොන්සල්වරයා, මෙරට ආයෝජනය කිරීමට තුර්කි ආයෝජකයන් තුළ පවතින ඉහළ උනන්දුව පිළිබඳව අවධාරණය කළේය.

රජය අනුගමනය කරන මූල්‍ය විනය සහ විනිවිදභාවය නිසා ජාත්‍යන්තර ආයෝජකයන් ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මීට අමතරව, යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය තාර හිඟය මඟහරවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, ඒ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වය එකඟ විය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version