ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (02) කැඳවනු ලැබීය. විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

මෙම නඩු විභාගය සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසක් නම් කර ඇති අතර, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ. මීට අමතරව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි ඇතුළු පිරිසක් ද අධිකරණයට පැමිණ සිටියහ.

නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ, නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන් වෙත තවමත් ලැබී නොමැති බවයි. එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, ඊළඟ නඩු දිනයට පෙර අදාළ ලේඛන විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

2015 වසරේ පෙබරවාරි 27 වන දින සිදු වූ බැඳුම්කර වෙන්දේසිය හරහා රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පවරා ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version