කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) දැඩි විරෝධතා මතු කරන ලදී.
සභාවේ කටයුතු ආරම්භ වී මන්ත්‍රී ප්‍රශ්න වටය අවසන්වීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා නැගීසිටිමින් තම මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති බව පවසා සිටියේය. කෙසේ වෙතත්, අදාළ ලිපිය සභාව ආරම්භ වීමට මොහොතකට පෙර ලැබුණු බැවින් වහාම එය කියවීමට නොහැකි බව නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වයත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භය මැදට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විවිධ සටන් පාඨ කියන්නට වූහ. ආණ්ඩුපක්ෂය ආසන්නයටම පැමිණි මන්ත්‍රීවරුන් විවිධ චෝදනා නඟමින් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කළ අතර, සෙංකෝලය ආරක්ෂා කර ගැනීම සඳහා වේත්‍රධාරී ඇතුළු නිලධාරීන් ඊට වටවී සිටියහ.
විපක්ෂයේ දැඩි බාධා හා ඝෝෂා මධ්‍යයේ වුවද, ආණ්ඩුපක්ෂයේ කටයුතු සහ යෝජනා ඉදිරිපත් කිරීම් අඛණ්ඩව සිදුකෙරිණි. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අදහස් දැක්වීමට පැමිණි අවස්ථාවේදීත් විපක්ෂ මන්ත්‍රීවරුන් එයට විරෝධය පළ කළ අතර, පසුව පාර්ලිමේන්තුව දිවා ආහාරය සඳහා තාවකාලිකව අත්හිටුවන ලදී.
