ශ්‍රී ලංකාව සිය සංචාරක කර්මාන්තය නංවාලීමේ අරමුණින් ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය පුළුල් කිරීමට පියවර ගෙන ඇත. 2030 වසර වන විට වාර්ෂිකව සංචාරකයින් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීම සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කයයි. මේ වන විටත් නව ගුවන් සේවා සමාගම් 10ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කර ඇති අතර, එම සංඛ්‍යාව 50 දක්වා ඉහළ නැංවීම අපේක්ෂාවයි.

මෙම වැඩසටහනට සමගාමීව ත්‍රිකුණාමලය, මඩකලපුව, සීගිරිය සහ යාපනය වැනි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අභ්‍යන්තර ගුවන් ගමන් වාර ද වැඩි කිරීමට සැලසුම් කර ඇත. වියට්නාමයේ වියට්ජෙට් (Vietjet), ඉන්දියාවේ ඉන්ඩිගෝ (IndiGo) සහ ඕස්ට්‍රේලියාවේ ජෙට්ස්ටාර් (Jetstar) වැනි ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් මේ වන විටත් ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

එමෙන්ම, වසර 11කට පසු බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) යළි මෙරටට ගුවන් ගමන් ආරම්භ කර ඇති අතර, ස්විස්ටර්ලන්තයේ එඩෙල්වීස් (Edelweiss) සහ උස්බෙකිස්තානයේ සෙන්ට්‍රම් එයාර් (Centrum Air) වැනි සමාගම් ද මෑතකදී සිය සේවා ආරම්භ කළේය. චීනයේ කැපිටල් ගුවන් සේවය බෙයිජිං සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් පවත්වාගෙන යයි.

ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් රුසියාවේ අසුර් එයාර් (Azur Air) සහ එස්7 (S7) ගුවන් සේවා මෙන්ම ප්‍රංශයේ ෆ්‍රෙන්ච් බී (French Bee) ගුවන් සේවය ද ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. මෙම නව ගුවන් සබඳතා හරහා දෙරට අතර සංචාරක, වෙළෙඳ සහ ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version