දසවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නමවන සභාපතිවරයා ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඒකමතිකව තේරී පත්ව ඇත.

මෙම සංගමයේ මංගල රැස්වීම පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහිදී මෙම නව පත්කිරීම සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ කසකස්තාන තානාපති සර්ගෙයි වික්ටරොව් මහතා ගෞරවනීය ආරාධිතයෙකු ලෙස එක්ව සිටියේය.

නව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පත් වූ අතර, උප සභාපතිවරුන් ලෙස මන්ත්‍රීවරුන් වන කවීන්දිරන් කෝඩීස්වරන්, ජී. ජී. පොන්නම්බලම් සහ ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්වරුන් තේරී පත් වූහ. එසේම, භාණ්ඩාගාරික ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා පත්විය.

රැස්වීම අමතමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙම මිත්‍රත්ව සංගමය වැදගත් වේදිකාවක් වන බවයි. විශේෂයෙන්ම වෙළෙඳාම, ආයෝජන, සංචාරක හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කර ගැනීමේ අවස්ථා පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ අභිනව සභාපති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියා සිටියේ, භූගෝලීය දුරස්ථභාවයක් තිබුණද ශ්‍රී ලංකාව සහ කසකස්තානය සාමය සහ සංවර්ධනය වෙනුවෙන් පොදු අභිලාෂයන් බෙදාහදා ගන්නා බවයි. ජාත්‍යන්තර සංසදවලදී ලැබෙන සහයෝගය අගය කළ අමාත්‍යවරයා, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්වන පරිදි ඉදිරියේදී සමීපව කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version