අනුරාධපුර ප්‍රදේශයේ සැරිසරන ප්‍රසිද්ධ ‘අග්බෝ’ ඇතාගේ ආරක්ෂාව වෙනුවෙන් තිරප්පනේ වනජීවී නිලධාරීන් සිදුකළ මුර සංචාරයකදී මෙම නීතිවිරෝධී බඳින තුවක්කුව සොයාගෙන ඇත. මිහින්තලේ, නොච්චිකුලම වැව ආසන්නයේ තිබූ බඩඉරිඟු වගාවක් අසල මෙම තුවක්කුව අටවා තිබී ඇත.
වනජීවී නිලධාරියෙකුගේ සිරුරේ එහි තිබූ මරු වැලක් (Tripwire) ගැටීමත් සමඟ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී එම ගිනිඅවිය ආරක්ෂිතව නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ. පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තුවක්කු ඇටවීමට යොදාගන්නා උපකරණ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ බඩඉරිඟු වගාවට වන අලින් ඇතුළුවීම වැළැක්වීම සඳහා පොළොවේ සිට අඩි පහක් පමණ උසකින් මෙම තුවක්කුව අටවා තිබූ බවයි. සැකකරු සහ අත්අඩංගුවට ගත් උපකරණ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අග්බෝ ඇතාගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන මුර සංචාර අතරතුරදී මෙවැනි බඳින තුවක්කුවක් සොයාගත් දෙවන අවස්ථාව මෙය බව වනජීවී නිලධාරීන් පවසයි. නීතිවිරෝධී ගිනිඅවි හේතුවෙන් තුවාල ලබන වන අලින්ට ප්‍රතිකාර කිරීම ඉතා අපහසු බව ද ඔවුහු පෙන්වා දෙති.
වන අලින් ඉලක්ක කර ගනිමින් නීතිවිරෝධී ගිනිඅවි භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව ‘හස්ති සේනා’ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර