ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි නගරය ආසන්නයේදී සිදුවූ බිහිසුණු දුම්රිය අනතුරක් පිළිබඳ වීඩියෝ දර්ශන මේ වන විට අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. කොල්කටා සිට සයිරෑන්ග් බලා ධාවනය වෙමින් තිබූ කොල්කටා – සයිරෑන්ග් එක්ස්ප්‍රස් දුම්රිය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඩිගාරු දුම්රිය ස්ථානය අසලදීය.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය රියදුරු විසින් හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද, පද්ධතියේ පීඩනය අඩුවීම හේතුවෙන් එය අසාර්ථක වූ බව වීඩියෝවේ ඇසෙන සංවාදවලින් අනාවරණය වේ. සංඥා රතු පැහැයෙන් තිබියදීත් දුම්රිය පාලනය කරගැනීමට නොහැකිව බාධකයක ගැටී මැදිරි කිහිපයක් පීලි පැන ඇති අයුරු එහි දැක්වේ.

ඊසානදිග දුම්රිය සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අනතුරින් කිසිවෙකු මියගිය බවට හෝ තුවාල ලැබූ බවට වාර්තා නොවන බවයි. කෙසේ වෙතත්, දුම්රිය මැදිරි පහක් පමණ පීලි පැනීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්විය.

අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රියේ සේවකයෙකු පැවසුවේ දුම්රිය පීලි පැනීමෙන් පසුවත් කිලෝමීටරයක පමණ දුරක් ධාවනය වූ බවයි. මේ වන විට එම ස්ථානයට විශේෂ දුම්රියක් යොමු කර ගලවා ගැනීමේ කටයුතු සිදු කෙරෙන අතර, මගීන් වෙනත් දුම්රියක් මගින් ගමනාන්ත වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version