ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග වන තේ, පොල් සහ තැඹිලි කර්මාන්තවල සංවර්ධනය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයේ සහාය ලබාගැනීම පිළිබඳව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
2030 වසර වන විට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400ක් දක්වා ඉහළ නංවා, අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් දක්වා වර්ධනය කර ගැනීම රජයේ ඉලක්කයයි. මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබාගැනීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන තේ වගා ක්‍රමවේද හඳුන්වා දීම සහ තලවකැලේ තේ පර්යේෂණ ආයතනය ඇතුළු පර්යේෂණ මධ්‍යස්ථාන නවීකරණය කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද, දිවයින පුරා ‘සිලෝන් ටී විලේජස්’ නමින් තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ වැඩසටහනට ඕස්ට්‍රේලියාවේ සහාය ලබාගැනීමට ද අපේක්ෂා කෙරේ.
තේ කර්මාන්තයට අමතරව, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින තැඹිලි කර්මාන්තය නංවාලීම සඳහා ‘සිලෝන් කිං කොකනට් විලේජස්’ නමින් ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මේ හරහා 2030 වන විට තැඹිලි අපනයන ආදායම මිලියන 30ක් දක්වා ඉහළ නැංවීම අරමුණයි.
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා සඳහන් කළේ, සිය රජයේ වෙළෙඳපොළ සංවර්ධන පහසුකම (MDF) වැඩසටහන යටතේ මෙරට ගොවි ප්‍රජාවගේ මූල්‍ය සාක්ෂරතාව සහ මූල්‍ය පහසුකම් වෙත ප්‍රවේශය ඉහළ නැංවීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි. තේ සහ පොල් ඇතුළු ක්ෂේත්රවල සංවර්ධනයට අඛණ්ඩව සහයෝගය ලබාදීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
