ශ්රී ලංකාවේ කෘෂිකාර්මික අංශය වඩාත් ඵලදායී, ඔරොත්තු දෙන සහ තරගකාරී ආර්ථික බලවේගයක් බවට පත් කිරීමේ අරමුණින් ‘AgriConnect’ වැඩසටහන පසුගියදා කොළඹදී නිල වශයෙන් දියත් කරන ලදී. අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් මෙම වැඩසටහන ක්රියාත්මක කෙරුණේ ලෝක බැංකු සමූහය සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්යන්තර අරමුදල (IFAD) සමඟ එක්වය.
මෙම වැඩසටහන මගින් කුඩා පරිමාණ ගොවීන් සවිබල ගැන්වීම, රැකියා උත්පාදනය සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ. කෘෂිකාර්මික අංශයේ අනාගතය රටේ සමස්ත ආර්ථිකයේ අනාගතය සමඟ බැඳී පවතින බව අග්රාමාත්යවරිය මෙහිදී අවධාරණය කළාය.
රජයේ 2027-2031 මහජන ආයෝජන වැඩසටහන යටතේ ඉදිරි වසර පහ තුළ රුපියල් ට්රිලියන 17.5ක ආයෝජනයක් අපේක්ෂිත බවත්, ඉන් රුපියල් ට්රිලියන 8.3ක් නිෂ්පාදන කේන්ද්රීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වෙන් කර ඇති බවත් අග්රාමාත්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම ආයෝජන මගින් කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සංචාරක සහ ඩිජිටල් පරිවර්තනය වැනි ක්ෂේත්ර ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇත.
තාක්ෂණය සහ නවෝත්පාදනයන් කෘෂිකර්මාන්තයට හඳුන්වා දීම තුළින් තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගත හැකි බවද ඇය පෙන්වා දුන්නාය. මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු රාජ්ය නිලධාරීන්, ලෝක බැංකු නියෝජිතයින් සහ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර