ශ්‍රී ලංකාව තුළ සාර්ව සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage) සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සහ පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීම උදෙසා විශේෂ වැඩසටහනක් මහනුවරදී ආරම්භ කෙරිණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තෙදින වැඩසටහන පැවැත්වේ.

මධ්‍යම රජයේ සෞඛ්‍ය බලධාරීන් සහ පළාත් සභා සෞඛ්‍ය අංශ අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. සෞඛ්‍ය සේවා සැපයීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මූල්‍ය ආරක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනය වැනි කරුණු කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ.

මෙම වැඩසටහන සඳහා ජපාන රජය, ජයිකා (JICA) ආයතනය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගය හිමිව ඇත. ද්විතීයික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම කෙරෙහි මෙම ව්‍යාපෘතිය හරහා විශේෂ අවධානයක් යොමු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ණය වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරි වසර සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන තීරණය වන බව ද ඔහු පෙන්වා දුන්නේය. මධ්‍යම රජයට සාපේක්ෂව මෙම ව්‍යාපෘතියේ විශාලතම කොටස පළාත් සභා වෙත හිමිවන බැවින්, මධ්‍යම සහ පළාත් මට්ටමේ සම්බන්ධීකරණය අතිශය වැදගත් බව මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා මුදල් කොමිෂන් සභාවේ ලේකම්වරයා, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version