වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගියදා ත්‍රිකුණාමලය වරාය සහ ඒ ආශ්‍රිත ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම සංචාරයේදී අමාත්‍යවරයා ප්‍රථමයෙන් චීන වරාය ගුවන්තොටුපළ වෙත ගොස් එහි සංවර්ධන කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව ගුවන්තොටුපළ ප්‍රධානී එයාර් වයිස් මාෂල් ඩබ්.පී. පෙරේරා මහතා සමඟ සාකච්ඡා කළේය. චීන වරාය ගුවන්තොටුපළ සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් වැඩිදියුණු කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස ත්‍රිකුණාමලය වරාය අධිකාරිය සතු සිලෝන් ජැටිය, පැරණි ජැටිය, ටවුන් ජැටිය සහ මන්කෝ ජැටිය ඇතුළු ස්ථාන රැසක භෞතික තත්ත්වය නිරීක්ෂණය කළහ. වරායේ මෙහෙයුම් කටයුතු සහ එහි ප්‍රගතිය පිළිබඳව වරාය නේවාසික කළමණාකාර සරත් කුමාර මහතා විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.
එහිදී හෙළි වූ දත්තවලට අනුව, 2025 වසරේදී ත්‍රිකුණාමලය වරාය රුපියල් මිලියන 1129ක ශුද්ධ ලාභයක් උපයා ඇති අතර, 2026 වසරේ ගත වූ මාස හය තුළදී පමණක් රුපියල් මිලියන 958ක ලාභයක් ලබා ගැනීමට සමත්ව ඇත. වරායේ මෙහෙයුම් කටයුතු තවදුරටත් කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
අස්රොප් ජැටියේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක් විය. එහිදී වරාය අධිකාරිය සතු ඉඩම් සහ මහජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර සහ ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
