මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් ‘රත්මලානේ සයිමා’ නැමැත්තා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ශ්‍රී ලංකා පොලිසිය සහ මැලේසියානු බලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් මොහු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසිය පවසන පරිදි, මෙම සැකකරු කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත. මීට අමතරව, කංජිපානි ඉම්රාන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යාම සහ ඔහුගේ හඬපට සමාජගත කිරීමේ වගකීම ද මොහු විසින් දරා ඇත.

විමර්ශනවලදී තවදුරටත් හෙළි වී ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට මැලේසියාවේ සැඟවී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත්තේ ද සයිමා විසින් බවයි. එය සිදුකර ඇත්තේ කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත බව වාර්තා වේ.

මීට වසර දහයකට පමණ පෙර මැලේසියාවට පලාගොස් ඇති මොහු, මීට පෙර ‘කුඩු අංජු’ නැමැත්තාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කර ඇත. කෙසේ වෙතත්, කුඩු අංජු විසින් තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව දැනගැනීමෙන් පසු, ඔහු කංජිපානි ඉම්රාන් සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version