නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් මිලියන 2.9කට අධික මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා මතය.
මෙම නිලධාරීන්ට එරෙහිව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි කිහිපයක් පදනම් කරගනිමින් මීට පෙර විමර්ශන ආරම්භ කර තිබුණි. එම විමර්ශනවල මූලික පියවරක් ලෙස සැකකාර නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි තලවකැලේ සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබුණි.
පසුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී රුපියල් ලක්ෂ 29කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට තහවුරු වීමත් සමඟ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය. විමර්ශන කටයුතු සඳහා නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැඳවා තිබූ අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට හැටන් පොලිසිය පියවර ගෙන තිබේ.
