සතුන්ට සිදුවන විවිධ ආකාරයේ වධහිංසා සහ අසාධාරණ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නව සත්ව සුබසාධන පනතක් හඳුන්වා දී ඇත. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයාගේ නියමය පරිදි සකස් කර ඇති මෙම පනත මගින් සතුන්ගේ යහපැවැත්ම ඉහළ නැංවීම අරමුණු කෙරේ.

නව නීතිරීතිවලට අනුව, ආගමික හෝ සංස්කෘතික කටයුතු සඳහා සතුන් යොදාගැනීමට අවසර තිබුණද, එම සතුන්ගේ කකුල්වල දම්වැල් බැඳීම, ගෙල වටා කම්බි හෝ දම්වැල් සිර කිරීම වැනි වේදනාකාරී ක්‍රියාවන් තහනම් කර ඇත. මීට අමතරව, සතුන් අධික ලෙස ඇවිද්දවීම, බර පැටවීම සහ වධහිංසා පැමිණවීම ද නීති විරෝධී වේ.

සතුන් ප්‍රවාහනය, විකිණීම, අභිජනනය සහ ආහාර සැපයීම වැනි කරුණු සම්බන්ධයෙන් ද නව ප්‍රතිපත්ති මාලාවක් පනතට ඇතුළත් කර ඇත. නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දඩ මුදල් සහ බන්ධනාගාර දඬුවම් ලබා දීමට නියමිතය. රෝගාතුර වූ සතුන් පොදු ස්ථානවල අතහැර දැමීම, සුදුසුකම් නොමැතිව සතුන්ට ප්‍රතිකාර කිරීම සහ නීති විරෝධී ලෙස වඳ භාවයට පත් කිරීම ද දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස නම් කර තිබේ.

සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සත්ව සුබසාධන උපදේශක කමිටුවක් පිහිටුවීමට ද පියවර ගෙන ඇත. මෙම කමිටුව සඳහා නිලබලයෙන් පත්වන සාමාජිකයන් 11 දෙනෙකු සහ අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයන් ඇතුළත් වනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version