පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන සහ සුභසාධන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් සහභාගී විය.
මෙහිදී ප්‍රධාන වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කෙරිණි. 2014 වසරේ ආරම්භ කළ එම පීඨයේ දෙපාර්තමේන්තු අටක් තිබිය යුතු වුවත්, මේ වන විට ක්‍රියාත්මක වන්නේ දෙපාර්තමේන්තු පහක් පමණක් බව ශිෂ්‍ය නියෝජිතයන් පෙන්වා දුන්හ.
එමෙන්ම, අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම්වල පවතින හිඟය පිළිබඳව ද මෙහිදී කරුණු අනාවරණය විය. ආපදා තත්ත්වයන් හේතුවෙන් කළමනාකරණ පීඨයේ සහ වෛද්‍ය පීඨයේ ගොඩනැගිලිවලට සිදුව ඇති හානි පිළිබඳව ද ශිෂ්‍ය පාර්ශ්වය විසින් පෙන්වා දෙන ලදී.
සිසුන් ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාලයේ පවතින යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2027 අයවැය හරහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවයි.
