යේමනයේ හූති සටන්කාමීන් විසින් එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියේ බටහිර කලාපයේ හදිසි තත්ත්වයක් උද්ගතව තිබේ. මෙම තත්ත්වය හමුවේ සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැඩි අවධානයෙන් සහ ආරක්ෂාවෙන් පසුවන ලෙස ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ජංගම දුරකථන හරහා ලැබෙන ජාතික අනතුරු ඇඟවීමේ පණිවිඩ කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන ලෙස බලධාරීන් දැනුම් දෙයි. ප්‍රහාරයක් සිදුවන අවස්ථාවක වහාම ගෘහස්ථව ආරක්ෂිත ස්ථානයකට වී සිටින ලෙසත්, කවුළු, වීදුරු, බැල්කනි සහ වහලවල් වැනි ස්ථානවලින් ඉවත් වී සිටින ලෙසත් උපදෙස් දී ඇත.
එළිමහනේ සිටින පුද්ගලයන් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යා යුතු අතර, රිය පදවමින් සිටින අය තම වාහන මඟ අයිනට ගෙන නතර කර පාලම් සහ උස් ගොඩනැගිලිවලින් ඈත්ව සිටිය යුතුය. කිසිදු සිදුවීමක් ඡායාරූපගත කිරීම, වීඩියෝ කිරීම හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස ද කොන්සල් කාර්යාලය අවධාරණය කරයි.
අනවශ්‍ය කලබල වීම්වලින් වැළකී නිල බලධාරීන්ගේ උපදෙස් පමණක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටී. හදිසි අවස්ථාවකදී මක්කම සහ මදීනා ප්‍රදේශවල වෙසෙන අයට 911 අංකය ද, අනෙකුත් ප්‍රදේශවල අයට 998 අංකය ද ඇමතිය හැකිය. අත්‍යවශ්‍ය හදිසි කටයුතු සඳහා ජෙඩා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ හදිසි අංකය වන 056 098 6671 ඔස්සේ සම්බන්ධ විය හැකිය.
