කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක සේවය කළ පර්යේෂකයෙකු වන ජේකොබ් කොක්සන්, අනාගතයේ නිර්මාණය වීමට නියමිත ‘සුපිරි බුද්ධිමත්’ (Superintelligent) AI පද්ධති පිළිබඳව දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ, මිනිස් බුද්ධිය ඉක්මවා යන මෙවැනි තාක්ෂණයන් නිර්මාණය කිරීම, මිනිසුන්ට පාලනය කළ නොහැකි සහ වටහා ගත නොහැකි ‘පිටසක්වළ බුද්ධිමය විශේෂයක්’ කැඳවීමකට සමාන බවයි. මෙවැනි බුද්ධි පද්ධති අපගේ පාලනයෙන් ගිලිහී යාමේ අවදානමක් පවතින බව ඔහු අවධාරණය කරයි.
AI සංවර්ධනයේ වත්මන් වේගය සහ එහි ආරක්ෂාව පිළිබඳව ගැටලු මතු කරමින් ඉල්ලා අස්වූ එකම පර්යේෂකයා කොක්සන් පමණක් නොවේ. මීට පෙර OpenAI සහ Anthropic වැනි ආයතනවල සේවය කළ ඉහළ පෙළේ පර්යේෂකයන් රැසක්, ආරක්ෂක ක්‍රමවේදවලට වඩා නිෂ්පාදන වේගයට සමාගම් ප්‍රමුඛත්වය දීම හේතුවෙන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.
ප්‍රකට තාක්ෂණික විශේෂඥයන් වන ඉලොන් මස්ක් සහ නොබෙල් ත්‍යාගලාභී ජෙෆ්රි හින්ටන් වැනි පුද්ගලයන් ද මීට පෙර අවස්ථා කිහිපයකදීම AI තාක්ෂණය මගින් මනුෂ්‍ය වර්ගයාට ඇති විය හැකි විනාශකාරී බලපෑම් පිළිබඳව අනතුරු අඟවා ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම තාක්ෂණය නිසි පාලනයකින් තොරව වර්ධනය වුවහොත් එය මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බවයි.
කෙසේ වෙතත්, AI තාක්ෂණය මගින් මානව වර්ගයාට අත්කර දිය හැකි විශාල ප්‍රතිලාභ පිළිබඳව ද විද්වතුන්ගේ අවධානය යොමු වී ඇත. එහෙත්, එම ප්‍රතිලාභ ලබන අතරතුරම, පාලනය කළ නොහැකි මට්ටමකට තාක්ෂණය වර්ධනය වීම වැළැක්වීම සඳහා ගෝලීය වශයෙන් දැඩි ආරක්ෂක සීමා සහ පාලන ක්‍රමවේද අවශ්‍ය බව පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
