දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යමින් පවතින අධික තාප තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ජනතාවගේ සෞඛ්‍යය සහ ජීවන තත්ත්වය සුරක්ෂිත කරන බලශක්ති කාර්යක්ෂම හා පරිසර හිතකාමී සිසිලන විසඳුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ප්රමුඛ අවශ්‍යතාවක් බවට පත්ව ඇතැයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
සිංගප්පූරුවේ පැවැත්වෙන ‘ගෝලීය සිසිලන ප්‍රතිඥා සමුළුව 2026’ (Global Cooling Pledge Assembly 2026) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ Cool Coalition සංවිධානය එක්ව මෙම සමුළුව සංවිධානය කර ඇත.
ගෝලීය වශයෙන් මතුව ඇති අධික තාප අවදානමට පිළියම් සෙවීම සහ පරිසර හිතකාමී සිසිලන ක්‍රමවේද ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචලිත කිරීම මෙම සමුළුවේ මූලික අරමුණ වී තිබේ. ලොව පුරා රටවල් සහ නගර නියෝජිතයන් මෙන්ම විෂය ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.
සමුළුවේ සමාරම්භක දිනයේදී ‘විද්‍යාවේ සිට සිසිලනය සහ අධික තාපයට ඔරොත්තු දීමේ ක්‍රියාමාර්ග සඳහා වන රට සහ නගර ප්රමුභතා’ යන තේමාව යටතේ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී නවතම විද්‍යාත්මක සොයාගැනීම් පදනම් කරගනිමින් ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගන්නා ලදී.
මෙහිදී අදහস දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග සහ රටේ ඉදිරි ප්‍රමුඛතා පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කළේය. විශේෂයෙන්ම අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන නාගරික සැලසුම්කරණය, හරිත ගොඩනැගිලි සංකල්පය සහ බලශක්ති කාර්යක්ෂම විසඳුම් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.
