පොලිස් නිලධාරීන් සඳහා සපත්තු පොලිෂ් සහ ශරීර කැමරා මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන චෝදනා පදනම් විරහිත බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. මෙම අසත්‍ය වාර්තා මගින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ කීර්ති නාමයට හානි කිරීමට උත්සාහ දරන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සපත්තු පොලිෂ් ටින් මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශ සහ නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයන් අනුගමනය කර ඇති බව පොලිසිය අවධාරණය කරයි. අඩුම ලංසුව ඉදිරිපත් කළ ආයතනයට ටෙන්ඩරය පිරිනමා ඇති අතර, එහිදී කිසිදු පෞද්ගලික බලපෑමක් හෝ සම්බන්ධතාවක් බලපා නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ශරීර කැමරා මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිසිය පැවසුවේ, ඒ සඳහා ආයතන 26ක් ලංසු ඉදිරිපත් කර ඇති බවයි. දැනට එම ලංසු ඇගයීම් කමිටුව විසින් පරීක්ෂා කරමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවද පොලිසිය පැහැදිලි කරයි.

මහජන විශ්වාසය බිඳ හෙළන මෙවැනි අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය අනතුරු අඟවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version