මට්ටක්කුලිය ෆර්ගියුසන් හන්දිය හරහා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පාලනයෙන් ගිලිහී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අනතුරින් තවත් දස දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අනතුර සිදුකරන අවස්ථාවේදී මෝටර් රථය මාර්ගය අසල නවතා තිබූ ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරුපැදි තුනක් ඇතුළු වාහන හතකට දැඩි හානි සිදුකරමින් පදිකයන් යට කරගෙන ගොස් ඇත. සිද්ධියෙන් මියගිය අය වයස අවුරුදු 44, 46 සහ 64 යන වයස්වල පසුවන මට්ටක්කුලිය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කරයි.
අත්අඩංගුවට ගත් 52 හැවිරිදි සැකකාර රියැදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා ඇතුළු චෝදනා හයක් යටතේ නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මූලික විමර්ශනවලදී මෝටර් රථයේ කාර්මික දෝෂයක් පැවතිය හැකි බවට සැකයක් මතු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු වාර්තාවක් සහ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර ඇත. සැකකරුගේ රුධිර සාම්පල ද වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
සිද්ධිය වූ ස්ථානයට දහසකට අධික පිරිසක් එක්රොක් වී තිබූ නමුත්, පොලිසිය වහාම මැදිහත් වී තත්ත්වය පාලනය කර සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. කොළඹ උතුර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
