උතුරු පළාතේ ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක මට්ටමකට ගෙන ඒමේ අරමුණින්, රජයේ නව වැඩපිළිවෙළක් යටතේ සාවකච්චේරි මූලික රෝහලේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ මෙම ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබීම සිදු කෙරේ. මේ සඳහා රුපියල් මිලියන 336ක මුදලක් වෙන් කර ඇත.
නවීන පහසුකම් සහිත ඖෂධ ගබඩාවක් සහ කාර්ය මණ්ඩල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 282.52ක් වෙන් කර ඇති අතර, එම ඉදිකිරීම් 2027 අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව, රෝහලේ විදුලි සෝපාන පද්ධතිය සහ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 53ක් වැය කෙරේ. මෙම කාර්යයන් 2027 මැයි මාසය වන විට නිම කිරීමට අපේක්ෂිතය.
උතුරු පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතය.
