ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අතර අමාත්‍යාංශයේදී විශේෂ හමුවක් පැවැත්විණි. මෙහිදී රටේ වත්මන් සංවර්ධන ක්‍රියාවලිය සහ දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

අමාත්‍යවරයා විසින් රුපියල් බිලියන 25ක ආයෝජනයකින් ක්‍රියාත්මක වන “ප්‍රජා ශක්ති” වැඩසටහනේ ප්‍රගතිය සහ එහි අරමුණු පිළිබඳව මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය. මීට අමතරව, ආබාධ සහිත පුද්ගලයන් සහ වැඩිහිටියන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සමාජ ආරක්ෂණ වැඩසටහන් මෙන්ම අවිධිමත් ක්ෂේත්‍රයේ නිරත පිරිස් වෙනුවෙන් හඳුන්වා දී ඇති විශ්‍රාම වැටුප් ක්‍රම පිළිබඳවද කරුණු ඉදිරිපත් කෙරිණි.

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය හා අධීක්ෂණය සඳහා යෝජිත නව පනත පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සියලු පාර්ශ්වවල යෝජනා සැලකිල්ලට ගනිමින් රටට හිතකර අයුරින් එය සකස් කිරීමට රජය කැපවී සිටින බවයි. ඒ සඳහා අනුකමිටුවක් පත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම වැඩසටහන්වල ප්‍රගතිය අගය කළ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට සහ දිළිඳුකම තුරන් කිරීමේ ක්‍රියාවලියට බ්‍රිතාන්‍ය රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික විය. අභියෝගාත්මක කාලවකවානුවක ජනතා අපේක්ෂා ඉටු කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා සහ රජය දරන උත්සාහයද ඔහු මෙහිදී ඇගයීමට ලක් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version