එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ Cool Coalition සංවිධානය එක්ව සංවිධානය කළ ‘ගෝලීය සිසිලන ප්‍රතිඥා සමුළුව 2026’ පසුගිය දිනවල පැවැත්විණි. මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහභාගී විය.
සමුළුවට සමගාමීව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ප්‍රධානීන් සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් සිය ප්‍රසාදය පළ කර ඇත. විශේෂයෙන්ම බලශක්ති උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් සපුරා ගැනීමට රජය ගෙන ඇති පියවර මෙහිදී විශේෂ අවධානයට ලක් විය.
වත්මන් රජය ක්‍රියාවට නංවන හරිත ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රදාන සහ තාක්ෂණික සහයෝගීතාව නොමසුරුව ලබා දීමට UNDP එකඟතාව පළ කර තිබේ. පසුගිය කාලසීමාව තුළ පැවති උදාසීනත්වය මඟහරවා ගනිමින් රජය ගෙන යන මෙම ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ප්‍රජාවගේ පැසසුමට ලක්ව ඇත.
ගොඩනැගිලි තුළ උෂ්ණත්වය ස්වභාවිකව පාලනය කළ හැකි ‘පැසිව් කූලින්’ (Passive Cooling) වැනි තාක්ෂණික ක්‍රමවේද ජාතික මට්ටමින් ප්‍රචලිත කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. විමෝචනය අවම කිරීම සහ ජාතික සිසිලන ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉදිරි ප්‍රමුඛතාවක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
