වායුසමීකරණ යන්ත්‍ර භාවිතය අවම කිරීම මගින් කාබන් විමෝචනය අඩු කර ගැනීමට සහ පරිසර හිතකාමී සිසිලන ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ Cool Coalition සංවිධානය එක්ව පැවැත්වූ 2026 ගෝලීය සිසිලන ප්‍රතිඥා සමුළුවේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
සමුළුවට සහභාගී වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පෙන්වා දුන්නේ, නිවාස සහ වාණිජ ගොඩනැගිලි තුළ වායුසමීකරණ යන්ත්‍ර අධික ලෙස භාවිත නොකර, නිෂ්ක්‍රීය සිසිලන (Passive Cooling) ක්‍රම මගින් අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 23ත් 25ත් අතර මට්ටමක පවත්වා ගත හැකි බවයි.
ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන පරිදි මෙම ප්‍රායෝගික ක්‍රියාමාර්ග හඳුන්වා දීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් ඇතිවන බලපෑම් අවම කර ගැනීම සඳහා ජාතික සිසිලන ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද රජය සැලසුම් කර ඇත.
පරිසර හිතකාමී සිසිලන පද්ධති දිරිමත් කිරීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙම යෝජනාවලියේ මූලික අරමුණයි. ඉදිරියේදී මෙරට ගොඩනැගිලි ඉදිකිරීමේදී සහ නඩත්තු කිරීමේදී මෙම නවීන සිසිලන ක්‍රමවේද භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිතය.
