ප්‍රවීණ ලේඛක සේනාරත්න වීරසිංහ විසින් රචනා කරන ලද ‘ඇරිස්ටෝටල්ගේ කාව්‍ය විද්‍යාව අපට කුමකටද’ නම් සම්භාව්‍ය කලා විචාර කෘතිය සහ චීන ලේඛක බා ජින්ගේ කෘතියක් ඇසුරින් කළ ‘හතරෙ වාට්ටුව’ සිංහල පරිවර්තනය මෙවර සාහිත්‍ය මාසය නිමිත්තෙන් එළිදැක්වීමට නියමිතය. මෙම කෘති ද්විත්වය වේයන්ගොඩ ප්‍රභා ප්‍රකාශකයෝ විසින් මුද්‍රණය කර ඇත.
ඇරිස්ටෝටල්ගේ කාව්‍ය සිද්ධාන්ත පිළිබඳව ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් අධ්‍යයනයක් සිදු වී නොමැති බව කතුවරයා පෙන්වා දෙයි. බටහිර සාහිත්‍ය කලාවේ පදනම ලෙස සැලකෙන ඇරිස්ටෝටල්ගේ ‘ද පොයටික්ස්’ (The Poetics) කෘතියේ එන දාර්ශනික සංකල්ප නූතන සාහිත්‍යය සමඟ ගැටෙන ආකාරය මෙම නව කෘතිය මගින් විග්රහ කෙරේ.
ඇරිස්ටෝටල් කවිය දෙස බලන්නේ ශාස්ත්රයකට වඩා විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකිනි. කතුවරයා පවසන පරිදි, නව්‍යවාදය සහ පශ්චාත් නූතනවාදය වැනි වර්තමාන සාහිත්‍ය ප්රවණතා පවා ඇරිස්ටෝටල්ගේ මූලික සිද්ධාන්ත මත පදනම් වී ඇත. විශේෂයෙන්ම ‘කැතාසිස්’ හෙවත් භාව විරේචනය වැනි සංකල්ප මනෝ වෛද්‍ය විද්‍යාවට පවා බලපා ඇති බව ඔහු අවධාරණය කරයි.
සමාජයේ යථාර්ථය පිළිබිඹු කරන කැටපතක් ලෙස කලාව හැඳින්වුවද, නිර්මාණකරුවා එම යථාර්ථයට ඔබ්බෙන් වූ අරුතක් සහ දෘෂ්ටිවාදයක් නිර්මාණයට එක් කළ යුතු බව කතුවරයාගේ අදහසයි. මෙම කෘති ද්විත්වය එළඹෙන සැප්තැම්බර් 26 වැනිදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පාඨකයන්ට ලබාගත හැකිය.
