ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ අලෙවි කෙරෙන ඇතැම් ළදරු ඩයපර්වල පවතින ගුණාත්මක දෝෂ සහ ආරක්ෂිත තත්ත්වයන් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. භාවිතයේදී ඩයපර් ඉරී යාම සහ වර්ණය මැකී යාම වැනි ගැටලු පිළිබඳව පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි රැසක් මත මෙම පියවර ගෙන ඇත.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, කොට්ටාව සහ පිටකොටුව ප්‍රදේශවල පිහිටි ව්‍යාපාරික ස්ථාන කිහිපයකදී නීති විරෝධී ලෙස ඩයපර් බෙදාහැරීම සහ අලෙවි කිරීම අනාවරණය විය. විශේෂයෙන්ම, ලියාපදිංචි ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි විස්තර ඇසුරුමේ සඳහන් නොකර නිෂ්පාදන අලෙවි කිරීම නීති උල්ලංඝනය කිරීමක් බව අධිකාරිය පෙන්වා දෙයි.
අදාළ නඩු විභාගයන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වූ අතර, එහිදී වැරදිකරු වූ සමාගම්වලට දඩ මුදල් නියම කෙරිණි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරන්නේ, ළදරු සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී එහි ලේබල් තොරතුරු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසයි.
යම් නිෂ්පාදනයක ගුණාත්මක දෝෂයක් හෝ ගැටලුවක් ඇත්නම්, ඒ පිළිබඳව වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දිය හැකිය. කාර්යාල වේලාවන් තුළ 1977 යන කෙටි දුරකථන අංකය ඇමතීමෙන් මහජනතාවට සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටී.
