තලවකැලේ, හොලිරූඩ් ප්‍රදේශයේ පදිංචි පලනියන්ඩි රොබට් මහතා ඉහළ කොත්මලේ ජලාශයේ ගිලී මියගිය පුද්ගලයන්ගේ සිරුරු ගොඩගැනීමේ අභියෝගාත්මක කාර්යයේ නිරතව සිටින සුවිශේෂී පුද්ගලයෙකි. 2011 වසරේ සිට මේ දක්වා ඔහු විසින් පමණක් සිරුරු 59ක් ජලාශයෙන් ගොඩගෙන තිබේ.

සිය පියාගේ අඩිපාරේ යමින් මෙම සත්කාරය සිදු කරන රොබට් මහතා පවසන්නේ, කිසිදු ආර්ථික වාසියක් බලාපොරොත්තුවෙන් තොරව, ආත්ම තෘප්තිය සහ පින් පිණිස පමණක් තමන් මෙම කාර්යයේ නිරත වන බවයි. මීට පෙර ඔහුගේ පියාද කොත්මලේ ඔයේ ගිලී මියගිය පුද්ගලයන් 274 දෙනෙකුගේ සිරුරු ගොඩගැනීමට දායක වී ඇත.

ජලාශය ආශ්‍රිතව ජීවිතාරක්ෂක නිලධාරීන් හෝ අවශ්‍ය උපකරණ නොමැති පසුබිමක, රොබට් මහතා සිය ජීවිතය පරදුවට තබා මෙම සේවය ඉටු කරයි. ජලාශයට යමෙකු වැටුණු වහාම පොලිසිය ඔහුට දැනුම් දෙන අතර, ඔහු වහාම එම ස්ථානයට ගොස් සිරුරු සොයා ගැනීමට සහාය වේ.

තමන් සිදු කරන මෙම කාර්යය සඳහා අවම වශයෙන් ආරක්ෂිත උපකරණ හෝ ලැබෙන්නේ නම් එය විශාල සහනයක් බව ඔහු පවසයි. ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද, අනුන්ගේ දුක වෙනුවෙන් පෙනී සිටින මෙම අභීත මිනිසාගේ සේවය සමාජයේ ඇගයීමට ලක්විය යුත්තකි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version