රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ වන්නේ ගෝලීය දැනුමෙන් මෙන්ම අභ්‍යන්තර ශක්තියෙන් පිරිපුන්, සමාජයට නායකත්වය ලබා දිය හැකි අනාගත පරපුරක් ගොඩනැගීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

මඩකලපුව, ඒරාවූර් රහ්මානියා මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරයේ සිදුකළ අධ්‍යාපනික සංචාරයකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. අධ්‍යාපනය යනු හුදෙක් විභාග සමත් වීම පමණක් නොව, වේගයෙන් වෙනස් වන ලෝකයට මුහුණ දිය හැකි කුසලතා සහ වටිනාකම්වලින් දරුවන් සන්නද්ධ කිරීමක් විය යුතු බව ඇය අවධාරණය කළාය.

මෙම අධ්‍යාපනික සංචාරය ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ‘දැක්ම’ වැඩසටහන යටතේ සංවිධානය කර තිබිණි. මෙහිදී සිසුන් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිබඳව ද දැනුවත් කෙරිණි.

එමෙන්ම, ජනාධිපති අරමුදල මගින් පාසල් සිසුන් වෙත ලබාදෙන සහන සහ සේවාවන් පිළිබඳව ද සිසුන් දැනුවත් කිරීමක් සිදු විය. පරිසර සංරක්ෂණයේ වැදගත්කම සිසුන්ට අවබෝධ කරවීම වෙනුවෙන් පාසල වෙත පැළ ලබාදීමක් ද මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා ආරක්ෂක සම්බන්ධීකරණ ඒකකයේ නිලධාරීන්, පාසලේ විදුහල්පතිවරයා, ගුරුභවතුන් සහ සිසු දරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version