ගම්පහ, ඉඹුල්ගොඩ, රාජසිංහ මාවතේ කුලී නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණ ව්‍යාජ උපාධි සහතික සහ ලිපි ලේඛන සැකසීමේ ජාවාරමක් යක්කල පොලිසිය විසින් වටලා තිබේ. ගම්පහ පොලිස් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයන් යොදා සිදුකළ වැටලීමකදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු විසින් වසරක පමණ කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර, ඒ සඳහා මසකට රුපියල් 35,000ක කුලියට නිවසක් ලබාගෙන තිබුණි.

වැටලීමේදී ලැප්ටොප් පරිගණක 2ක්, ස්මාර්ට් දුරකථන 2ක්, වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්, ව්‍යාජ සහතික පත් 35ක් සහ ආයතන ප්‍රධානීන්ගේ නිල මුද්‍රා 51ක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. මෙහිදී රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රැසක මෙන්ම රජයේ ආයතන සහ බැංකු කිහිපයක නිල මුද්‍රා සහ ලිපි ශීර්ෂ ද සොයාගෙන තිබේ.

සැකකරු විසින් සාමාන්‍ය සහතික පත් රුපියල් 25,000ත් 50,000ත් අතර මුදලකට අලෙවි කර ඇති අතර, විදේශ රැකියා සඳහා අවශ්‍ය ව්‍යාජ සහතික පත් රුපියල් ලක්ෂ හතරක මුදලකට සකස් කර දී ඇත. මෙම ව්‍යාජ ලේඛන භාවිත කර පුද්ගලයින් 200ක් පමණ විදෙස්ගත වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

යක්කල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version