දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ අවම කිරීම සහ අලි-මිනිස් ගැටුම පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ‘හස්ති සේනා’ විශේෂ මෙහෙයුම වයඹ වනජීවී කලාපයේ ගල්කිරියාගම ප්‍රදේශයෙන් අද (02) ආරම්භ විය.

පරිසර අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන විද්‍යාත්මක හා සැලසුම්සහගත ක්‍රියාමාර්ග ඔස්සේ ඉදිරියට ගෙන යාමට නියමිතය. මෙහි පළමු අදියර යටතේ අනතුරට ලක්වීමේ වැඩි අවදානමක් පවතින අලි ඇතුන් 17 දෙනෙකු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.

මෙම මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශවලින් 80%ක් ආවරණය වන පරිදි මෙහෙයුම් සැලසුම් කර ඇති බවයි. ඉතිරි 20% ද වෙනම වැඩපිළිවෙළක් යටතේ ආවරණය කිරීමට අපේක්ෂා කෙරේ.

අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන හක්කපටස්, අනවසර ගිනි අවි, විදුලි රැහැන් සහ මදු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණකි. හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, හමුදා සාමාජිකයන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 10ක් මෙම මෙහෙයුමට දායක වේ.

මෙම ආරම්භක අවස්ථාව සඳහා වයඹ පළාත භාර වනජීවී අධ්‍යක්ෂ පුෂ්පන්ත විමලදාස සහ පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවින්ද්‍ර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version