ගාසා තීරයේ විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෛද්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

දකුණු දිග ඛාන් යුනිස් ප්‍රදේශයට එල්ල වූ ගුවන් සහ වෙඩි තැබීමේ ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර, මධ්‍යම අල්-මුසාද්ඩාර් ගම්මානයේ සිදු වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් තවත් අයෙක් මියගොස් තිබේ. එසේම, උතුරු ගාසා නගරයේ තල් අල්-හවා ප්‍රදේශයේ ගමන් ගත් වාහනයක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇත.

මීට අමතරව, මීට පෙර අල්-මවාසි හි පොලිස් මුරපළකට එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි යූසුෆ් අබු යූනිස් නැමැත්තා ද මියගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව පහ දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ප්‍රහාරවලදී පලස්තීන සටන්කාමීන් ඉලක්ක කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත. ගාසා තීරයේ අවතැන් වූ ජනතාවට ශීත සෘතුවට පෙර කූඩාරම් සහ ආරක්ෂිත නවාතැන් ලබා දීමට උත්සාහ කරමින් තිබෙන පසුබිමක් තුළ මෙම නව ප්‍රහාර එල්ල වී තිබීම විශේෂත්වයකි.

ඊශ්‍රායල හමුදා ක්‍රියාමාත්පයන් හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ සමස්ත මරණ සංඛ්‍යාව 74,609 ඉක්මවා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ඉදිරි ශීත සෘතුවට මුහුණ දීම සඳහා මිලියන දෙකකට ආසන්න ජනතාවකට කූඩාරම් සහ මානුෂීය ආධාර දැඩි ලෙස අවශ්‍යව පවතියි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version