ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ අධ්‍යාපන, වෘත්තීය කුසලතා සහ රැකියා අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගනිමින් දකුණු කොරියාව සමඟ නව බහුපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම ගිවිසුම පසුගියදා දකුණු කොරියාවේ චැංවොන් ප්‍රදර්ශන සම්මේලන මධ්‍යස්ථානයේදී අත්සන් තැබිණි.

මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා කම්කරු අමාත්‍යාංශය, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය, ග්යොන්ග්සංනම්-ඩෝ පළාත් රජය, චැංෂින් විශ්වවිද්‍යාලය සහ සචියොන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය යන පාර්ශ්ව පහ එක්ව සිටිති. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම නව හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා මෙන්ම වෘත්තීය පුහුණුව සහ කාර්මික ශ්‍රම බලකා සංවර්ධනය සඳහා පුළුල් දොරටු විවෘත වේ. විශේෂයෙන්ම අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු දකුණු කොරියාවේ ස්ථිර පදිංචිය දක්වා වූ අවස්ථා ද මෙහිදී සලකා බැලෙනු ඇත.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, රජය, අධ්‍යාපන ක්ෂේත්‍රය සහ කර්මාන්ත ක්ෂේත්‍රය ඒකාබද්ධ කරමින් නිපුණ මානව සම්පත් සංවර්ධනය කිරීම මෙම ගිවිසුමේ මූලික අරමුණයි. අනාගතයේදී ඒකාබද්ධ ව්‍යාපෘති සහ ආයතනික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version