ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධන ක්‍රියාවලියක් වෙනුවෙන් රජය විශාල ආයෝජනයක් සිදු කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවති මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ (CECB) සහ මධ්‍යම ඉංජිනේරු සේවා සමාගමේ (CESL) 2026 සම්මන්ත්‍රණය අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

රට ලෝකයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා පාසල්, රෝහල්, මාර්ග පද්ධති මෙන්ම වරාය සහ සාගරික සේවා දියුණු කිරීමේදී ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයින්ගේ කාර්යභාරය අතිශය වැදගත් බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. පවතින කාලගුණික අභියෝග හමුවේ තිරසාර සහ ඕනෑම විපතකට ඔරොත්තු දෙන ආකාරයේ නිර්මාණකරණයක යෙදීමේ අවශ්‍යතාවය ද ඇය පෙන්වා දුන්නාය.

පසුගිය කාලයේ රටේ ඇති වූ තත්ත්වය හේතුවෙන් දක්ෂ තරුණ ඉංජිනේරුවන් විශාල පිරිසක් විදේශගත වීම නිසා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී තාක්ෂණික ශ්‍රමිකයින්ගේ හිඟයක් මතුව ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. තරුණ වෘත්තිකයින් රට තුළ රඳවා ගැනීමට නව්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත්, ඔවුන් ආයතන කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට පියවර ගත යුතු බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ඉංජිනේරුවන් හුදෙක් තාක්ෂණික අංශයට පමණක් සීමා නොවී, ව්‍යාපෘති කාර්යක්ෂමව නිම කිරීම සඳහා පරිපාලනමය හැකියාවන් ද වර්ධනය කරගත යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. යටිතල පහසුකම් නිර්මාණය කිරීමේදී සමාජීය හැසිරීම් සහ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version