රටක් ගොඩනැගීමේ ක්‍රියාවලියේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එය සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් සමඟ බද්ධ වූ සංවර්ධනයක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ලොව දියුණු බොහෝ රටවල් සිය සංස්කෘතික පදනම මත පිහිටා දියුණුව ළඟා කරගෙන ඇති බවත්, ජාතීන් අතර සහජීවනය ගොඩනැගීමට එම පදනම අතිශය වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නේය.
ග්‍රාමීය ආගමික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, දහම් පාසල් ශක්තිමත් කිරීම සහ විනාශයට පත් ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මීට අමතරව, සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ඉඩම් ගැටලු විසඳා ඒවා කඩිනමින් සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඉතිහාසය සහ උරුමයන් නූතන පරපුරට සමීප කරවීම සඳහා ජාතික කෞතුකාගාරය සහ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. කෞතුකාගාර හුදු ගොඩනැගිලිවලට සීමා නොකර නවීන තාක්ෂණය භාවිතයෙන් ඉතිහාසය සජීවීව අත්විඳිය හැකි ස්ථාන බවට පත් කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
මහාභාරකාර දෙපාර්තමේන්තුව සතු දේපොළ පාලනයේදී සිදුවන අක්‍රමිකතා සහ දුර්වලතා පිළිබඳව ද ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු විය. ජනතා දේපොළ නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා අදාළ පනත් සංශෝධනය කිරීමටත්, ඵලදායී නොවන දේපොළ පිළිබඳ නව නීතිමය රාමුවක් සකස් කිරීමටත් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර