බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් සිය දෙවන ගැබ් ගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ දා සිට ඇය පිළිබඳ තොරතුරු දැන ගැනීමට රසිකයන් දැඩි උනන්දුවක් දක්වයි. මේ වන විට ඇය සිය ගැබ්ගැනීමේ අවසන් ත්‍රෛමාසිකයට පිවිස සිටින බව වාර්තා වේ.
පසුගිය ඉරිදා ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා බෙදාගත් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය තුළ වේගයෙන් පැතිර යමින් පවතී. ගැබිනි මවක් තම කුඩා දරුවා වඩාගෙන සිටින අයුරු දැක්වෙන එම වීඩියෝවට ඇය එක් කර තිබූ සටහන රසිකයන්ගේ අවධානය දිනා ගත්තේය.
ගර්භණී සමයේදී බර දේවල් එසවීමෙන් වළකින ලෙස උපදෙස් ලැබුණද, තම දෛනික ජීවිතය ඊට වඩා වෙනස් බව ඇය එමගින් විහිළුවට ලක් කර තිබුණි. බොහෝ රසිකයන් අදහස් දක්වා තිබුණේ, මෙය ඇයගේ දියණිය වන ඩුවා පදුකෝන් සිං පිළිබඳව ඇය තැබූ ආදරණීය ඉඟියක් බවයි.
මීට පෙරද ගැබිනි සමයේදී තමන් මුහුණ දෙන විවිධ අත්දැකීම් දීපිකා විහිලු සහගත වීඩියෝ හරහා රසිකයන් සමඟ බෙදාගෙන තිබුණි. කෙසේ වෙතත්, ඇයගේ ප්‍රසූත දිනය ළඟා වන විට, නව සාමාජිකයා සහ දියණිය එකම කාල වකවානුවක උපන්දිනය සමරනු ඇතිද යන්න පිළිබඳව රසිකයන් අතර කුතුහලයක් පවතී.
මේ අතර, දීපිකාගේ සැමියා වන රන්වීර් සිං ද මෑතකදී සහභාගී වූ වැඩසටහනකදී දෙවන වරටත් පියෙකු වීමට ලැබීම පිළිබඳව සිය සතුට ප්‍රකාශ කර තිබුණි. ඉදිරියේදී දීපිකා පදුකෝන් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිතව ඇත්තේ ‘King’ සහ ‘Raka’ වැනි සිනමා නිර්මාණ කිහිපයක් හරහාය.
