පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘සරසවි මැදුර’ නේවාසිකාගාරයේ පහළ මාලයේ නවාතැන් ගෙන සිටි සිසුන් වහාම ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය පියවර ගෙන ඇත.
මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. නේවාසිකාගාරවල සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටින සෙසු සිසුන් ද පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස පරිපාලනය දැනුම් දී ඇත.
මේ අතර, අඛණ්ඩව පවතින වර්ෂාව නිසා මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද අද (03) දිනයේදී අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් සහ සිසුන් කාලගුණික වාර්තා පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස බලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
